වකුගඩු රෝග සුව කරන නීරමුල්ලිය – නෙරෙංචි බෙහෙත

වසර 300 කට වඩා පැරණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේ මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සදහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සදහා 100% දේශීය වූ ප්‍රතිකාරයක් හදුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කරගැනීම සදහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදාගත හැකි ශාඛසාරමය ඖෂධ හදුන්වාදීම මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය..

ප්‍රශ්නය – වකුගඩුවල ක්‍රියාකාරිත්වය සහ වකුගඩු රෝග ගැන අප පසුගිය සතිවලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ශරීරයේ තිබෙන වැදගත්ම ඉන්ද්‍රීන් තුනෙන් එකක් හැටියට ආයුර්වේදය තුළ වකුගඩු අර්ථකථනය වන බවත් ඔබ සදහන් කළා. වකුගඩු රෝගය සදහා සුදුසු ශාකසාර ඹෟෂධ තිබෙනවද?

වකුගඩු රෝගය සදහා ආයුර්වේදය මගින් ශාකසාරමය ඖෂධ සහ රස බෙහෙත් රැසක් හදුන්වා දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක් පැරැණි දේශීය ප්‍රතිකාර ක්‍රමය මගිනුත් ශාකසාර ඖෂධ නිර්දේශ කරනවා. මෙවැනි ශාක වර්ග දෙකක් තමයි නීරමලුල්ලිය සහ නෙරෙංචි කියන හාක දෙක. මේවා අපේ පිටිසර ගම්වල තවමත් තිබෙනවා. ගමෙන් හොයාගන්න බැරිනම් ඕනෑම සිංහල බෙහෙත් බඩු කඩයකින් මේ ඖෂධ දෙක ලබාගන්න පුළුවන්. වකුගඩු රෝගය සමනය කරන ඉතා හොද කසායක් මෙයින් හදා ගන්නේ මෙහෙමයි. නීරමුල්ලිය මිටක් සහ නෙරෙංචි මිටක් බැගින් අරගන්න. මෙය අමුවෙන් ගන්න හැකිනම් හොදයි. එහෙම බැරිනම් බෙහෙත් කඩෙන් ලබාගත්තත් කමක් නැහැ. මෙය වතුර කෝප්ප 4කට දාලා එක කෝප්පයකට හින්දලා කෝප්ප භාගය බැගින් උදේ හවස සතියට දින 3 බැගින් මාස 2ක් පානය කළ යුතුයි. ඒ කියන්නේ රෝගියා මාස 2ක් තුළ කසාය හැලි 12 ක් පානය කළ යුතුයි.

ප්‍රශ්නය – මේ ඖෂධීය පැළවල ඖෂධීය ගුණය ගැන විග්‍රහයක් කළ හැකිද?

මුලින්ම අපි නෙරෙංචි පැළය ගනිමු. Tribulus Terrestris යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන නෙරෙංචි, පස් පංගුවම බෙහෙතට ගත හැකි පැළයක්, ගොකටු කියලත් මේ පැළෑටියට කියනවා. මෙය annual Plant හෙවත් අවුරුද්දක ආයු කාලය ඇති පැළයක්. ඒ කියන්නේ පැළය පොළොවෙන් ඉහළට මතුවීමේ සිට මල්පල දී මියයෑම දක්වා කටයුතු අවුරුද්දක් තුළ සිදුවී නිම වෙනවා. වියළි කාලගුණයක් ඇති හැම රටකම පාහේ නෙරෙංචි පැළය දැක ගන්නට පුළුවන්. ලතින් ඇමරිකානු රටවල මෙය ඉතා බහුලයි. දකුණු ඉන්දියාවේ තිබෙන සිද්ධ නමැති පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයේදී මුත්‍රාවාහිනියේ ආසාදන ඇතුළු මුත්‍ර රෝග 5කට මෙයින් ප්‍රතිකාර කරනවා. ආයුර්වේදයේදී මෙය වකුගඩු සහ මුත්‍ර මාර්ගයේ රෝගවලට ප්‍රතිකාර කිරීමට අමතරව ශුක්‍ර ධාතු වර්ධකයක් හැටියටත් යොදා ගන්නවා. මෙය ධාතු වර්ධකයක් වුණාට වාජිකරණයක් නොවෙයි. යුනානි නමැති අරාබි වෙදකමේදිත් මෙය ආයුර්වේදයේ හා සමානව පරිහරණය කරනවා. කාශ්මීරයේදී නෙරෙංචි යොදා තනන තේ වැනි පානයක් සියලු උණ රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් දෙනවා. එහෙත් පමණ ඉක්මවා මේ පැළයේ සාරය ශරීරගත වුණොත් අක්මාව විනාශ වන බව සදහන් කළ යුතුයි. ඒ නිසා නිතරම සුදුසු වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පිහිටා තමයි කටයුතු කළ යුත්තේ.

දැන් අපි ඊළගට බලමු මොනවද මේ නීරමුල්ලිය කියන්නේ කියලා. Asterakantha longifolia නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන නීරමුල්ලිය ශරීරයේ හටගන්නා සියලුම ආකාරයේ ඉදිමුම් සමනය කිරීමට යෝග්‍ය බවට පිළිගැනීමක් තිබෙනවා. මෙය ශරීරයේ අභ්‍යන්තර සහ බාහිර ඉන්ද්‍රියන්ගේ ඉදිමුම, මුත්‍රා දැවිල්ල යන තත්ත්වයන් සදහා ඉතාම යෝග්‍ය බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. වියළි නීරමුල්ලිය මුල් ග්‍රෑම් 60ක් ගෙන කුඩා කැබලි වලට කපා වතුර මිලි ලීටර් 1920ක් දමා එය වතුර මිලි ලීටර් 240 ට හිදෙන තුරු සිට දිනකට දෙවරක් වරකට මිලි ලීටර් 120 බැගින් සතියක් පානය කළ යුතු බවට නිර්දේශයක් තිබෙනවා. එවිට ඉදිමුම සහ මුත්‍රා මාර්ගයේ ආසාදන අඩුවන බව චිකිත්සාගාර පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.

ප්‍රශ්නය – වකුගඩු අමාරුවට හා මුත්‍රා අමාරුවට පොල්පලා ගුණදායක බවට මතයක් තිබෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – පොල්පලා කියන්නේ පමණ ඉක්මවා පානය කළොත් ලෙඩා අමාරුවේ වැටෙන ශාකයක්. අනෙක් පොල්පලා වර්ග දෙකක් තිබෙනවා. ලංකාවේ පොල්පලා සහ ඉන්දියාවේ පොල්පලා කියලා. ලංකාවේ පොල්පලා හරිම සැරයි. ඉන්දියානු පොල්පලා ටිකක් වත් හැර නැහැ. අප දන්නෙ නැහැ වෙළෙදපොළේ තිබෙන්නේ කොයි පොල්පලා වර්ගය ද කියලා. ඒ අනුව වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම තමයි හොදම දේ.

නොමිලේ විස්තර සදහා 0713464276 / 0759061771අංකයට කතා කරන්න. සාකච්ඡා කලේ අශේන් රඹකොස්වැව.

Add Comment