ජීවිතේ එපා කරවන ආතරයිටිස් සුව කරන විස්මිත හෙළ ඔසු

ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහය වර්තමානයේ බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයකි. කුඩා දරැවාගේ පටන් වැඩිමහලු අය දක්වා නිරන්තරයෙන් ලබාගන්නා ක්ෂණික ආහාර හේතුවෙන් මෙම රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වේ. ක්ෂණික ආහාර වල ඇති පෝෂණීය අගයේ අඩුකම මෙන්ම අඩංගු අහිතකර රසකාරක හා වර්ණකාරක මගින් අස්ථි දිරාපත්වීම් ඇතිකරයි. වර්තමානේ ආහාර රස කිරීමට යොදාගන්නා අජිමමොටෝද එවැන්නකි.

එමෙන්ම සිරුරේ ආම්ලිකතාව වැඩිකරන ක්‍රියාවලින් වන නින්ද අඩුකම, අවිවේකී බව හා මානසික නොසන්සුන් බවද අස්ථි වර්ධනය කෙරෙහි විශේෂයෙන් බලපායි. විශේෂයෙන් අස්ථි වර්ධන අවධියේ සිටින කුඩා දරැවන් කෙරෙහි මෙම බලපෑම් ඇතිවීමෙන් අස්ථිවල නොයෙක් දුර්වලතා හා විකෘතිතා ඇතිකරයි. අධික බරැති පාසල් බෑග් රැගෙන දිනපතා පාසලට යන කුඩා දරැවාගේ කොදුඇට පෙළෙහි අස්ථි ඇදීමෙන් තෙරපීමෙන් හැඩයේ විකෘතිතා ඇතිවේ.

එමෙන්ම අස්ථිවල ගණත්වය අඩුවන අතර මෙමගින් දුර්වල සන්ධි පද්ධතියක් ඇතිකරයි. සිරුරේ හැඩය ආරක්ෂා කිරීමත්, දේහයේ බර දැරීමත්, අභ්‍යන්තර ඉන්ද්‍රිය ආරක්ෂා කිරීමත් අස්ථි මගින් සිදුවන අතර සන්ධි මගින් සිරුරේ චලන ඇතිකිරීමත්, නිසි ක්‍රියාකාරිත්වයක් ඇතිවේ. අස්ථි එකිනෙක බැද තැබීම මාංස පේශී හා කණ්ඩරා මගින් සිදුවේ.

අස්ථි ප්‍රදාහය අතරෙන් බහුලවම දැකිය හැකි වන්නේ Osteoarthritis තත්ත්වයයි. මෙය ආයුර්වේදයේ හදුන්වා ඇත්තේ “ස්නධිගත වාත” ලෙසයි. වයස්ගත වීමත් සමග රෝගය ඉස්මතුවීම බහුල වුවත් මෙම රෝගය ආරම්භ වීම වයස අවුරුදු 30දී පමණ සිදුවේ. වැඩිහිටි කාන්තා පක්ෂය මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන අතර සිරුරේ බර දරන සන්ධිවල එනම් කාන්තාවන්ගේ දණහිස් සන්ධිවලත්, පුරැෂයන්ගේ උකුල් හා කොදු නාරටියේ සන්ධිවලත් මෙම තත්ත්වය බහුලව දැකිය හැකිවේ.

සන්ධි ක්‍රියා කරවීමේදී පවතින වේදනාව හා අපහසුතා සන්ධිවල ඇති තද ගතිය හා ඉදිමුම මෙහිදී දැකිය හැකි ලක්ෂණ වේ. ක්‍රියාකිරවීමේදී සන්ධි ශබ්ද සහිත වේ. ඇවිදීමේදී අපහසුතා පෙන්නුම් කරයි. මෙම ලක්ෂණ එකවරම ක්‍රම ක්‍රමයෙන් පහළ වේ.

වැටීමක් හෝ පහර වැදීමක් නිසා වූ පටක ඉරීමක්, සන්ධියේ ඇති වූ වෙනස්වීමක් නිසාද පසුකාලීනව සන්ධි ප්‍රදාහය ඇතිකරයි. යම් යම් රෝග තත්ත්ව මෙන්ම පාරිසරික හේතු නිසාද මෙම තත්ත්වය ඇතිවේ. එමෙන්ම අධික ස්ථූලතාවද මේ සදහා බලපායි. හේතුවක් නොමැතිව වයසට යෑමත් සමගම මෙම රෝගය ඇතිවිය හැකිය.

කාන්තාවන්ගේ ආර්තවයට පසුව හෝමෝන ක්‍රියාවලීන් වෙනස්වීමත් සමග අස්ථි දිරාපත්වීම් (Degeuerative Changes) ඇතිවිය හැකියි. එමෙන්ම අස්ථි හා සන්ධිවල වර්ධන විකෘති නිසාද ඇතිවේ. කැල්සියම් අව‍ශෝෂණයේ විසමතා නිසාද අස්ථි හා බැද තබන කාටිලේජ් දුර්වල වේ.

මෙම රෝග තත්ත්වය හදුනා ගැනීමෙන් පසුව තහවුරු කරගැනීම සදහා X-Ray පරීක්ෂණයක් සිදුකළ හැකිය. මෙහිදී සන්ධි අතර තරලය වියළීමත් අස්ථි අතර පරතරයේ අඩුවීමත් දැකිය හැකි අතර කල්ගත වීමේදී අස්ථි දාර දිරාපත් වීම නිසා අස්ථි විකෘති වේ. සන්ධිය වටා ඇති පටක හා කාටිලේජ් තන්තුමය ස්වභාවයට පත්වී අස්ථියේ හැඩය වෙනස් වේ.

මෙම රෝගය වැළැක්වීම සදහා ගතහැකි පියවර
රෝගය වැළදුණු පසු එනම් අස්ථි දුර්වල තත්ත්වයට පත්වූ පසු යථා තත්ත්වයට පත්කිරීම ඉතා අපහසුයි. එබැවින් රෝගය වැලදීමට පෙර ස්වභාවික ආහාර රටාවකට යොමු වීමත්, සිරුරේ සැහැල්ලු බව ඇතිකරන ක්‍රියාවන්හී නිරතවීම වැදගත්ය.

රස කාරක හා වර්ණ කාරක යෙදූ ආහාර, පැණි බීම වර්ග ආදියෙන් බැහැර විය යුතුය. විශේෂයෙන් නිවසේදී පිළියෙල කරගත් ආහාරයක් ලබාදීමට කටයුතු කරන්න. ගර්භණී මවුවරැන් හා කුඩා දරුවන් සදහා බාහිරින් කෘතීමව කැල්සියම් ආදී සංඝටක ලබාගැනීම සීමාකර ආහාරයෙන් එම කොටස් ලබාගැනීමට උත්සුක වන්න. අධික ප්‍රමාණයෙන් කැල්සියම් ලබා නොගන්න.

මානසික සන්සුන් බව, විවේකය නිසි පරිදි ගතකිරීම ආදියද සිරුරේ සැහැල්ලු බව ඇතිකරයි. මීට අමතරව යෝග ව්‍යායාම අවශ්‍ය වේ. භාවනා ක්‍රම ආදියද ඉතා වැදගත් වේ. රෝගය ඇතිවූ පසු එම දුර්වල සන්ධියට පහර වැදීමේ හා තැලීම් සිදුවීමට ඉඩ නොදී ආරක්ෂාකාරී වන්නත් අනිවාර්යයෙන් විය යුතුයි. මෙමගින් නැවත රෝගය ඇතිවීම වළක්වයි.

අධික ස්ථූලතාවෙන් පෙළෙන්නේ නම් බර අඩුකරන ක්‍රියාවලින් සදහා පෙළඹිය යුතුය. ඒ වෙනුවෙන් කරනා ව්‍යායාම ඉතා සැළකිල්ලෙන් කළ යුතුයි. ව්‍යායාම කරනා විටදී දුර්වල සන්ධි, පටක තැළීම්, ඇදීම්වලට ලක්විය හැකි බැවින් ව්‍යායාමයන්හීදී නිසි උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන් කළ යුතුයි.
මෙම රෝගයට ගොදුරු වූවන් අධික බර ඉසිලීමෙන් වැළකිය යුතුය. නැගිට සිටීමේදී, වාඩි වීමේදී හා නිදා ගැනීමේදී නිවැරදි ඉරියව් අනුගමනය කළ යුතුයි. යහපත් අස්ථි පෝෂණයක් සදහා කොළ පැහැති එළවලු, පළතුරු මෙන්ම ධාන්‍යද ආහාරයට එක්කර ගැනීමට උනන්දු විය යුතුය. මෙහිදී පැළ කරගත් ධාන්‍ය වර්ග වඩාත් සුදුසු වන අතර කිරි, බිත්තර, කුඩා මාළු ආදිය විශේෂයෙන් සුදුසු ආහාර වර්ග වේ.

සුදුසු මැල්ලුම් වර්ග
කතුරුමුරුංගා, මුරුංගා, ගොනිකා කොළ, කෝවක්කා කොළ, වාතභංග කොළ මැල්ලුම් සුදුසුය. මේ කලවම් මැල්ලුමක් ලෙස ද සකසා ගත හැකිය.

සුදුසු ප්‍රතිකාර කිහිපයක්
මෙම රෝගයට ප්‍රතිකාර ලෙස ඖෂධ බාහිරින් හා අභ්‍යන්තරව ලබාදේ.

බාහිර ඖෂධ
තෙල් ගැල්වීම
දුම් ඇල්ලීම් හා තැවීම්
වස්ති ප්‍රතිකාර ලෙස ගුද මගින් කෂාය හා තෙල් වර්ග ලබාදේ.

එමෙන්ම විවිධ ඖෂධ යෙදූ මැල්ලුම්, ආලේප යොදාගත හැකිය. විශේෂයෙන් නික, එඪරු, කටු කරඪු, බෙලි, මිදි, තොටිල, ඇත්දෙමට, පලොල්, බිං කොහොඹ, බැවිල ආදියද වේදනාව සමනයට අමුක්කරා වැදගත් ඖෂධයක් බවද තහවුරැ කර ඇත.
මේවා යෙදූ කෂාය වර්ග හා කැවිලි වර්ග ශරීරයට ඉතා ගුණදායකය.

කොන්දේ වේදනාව සදහා තැවීමක්
නික කොළ, සේපාලිකා කොළ මිට බැගින් ගෙන එයට සුදු ලූණු බික් කිහිපයක් දමා කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා සුදුසු තෙලක් ගා තැවීම සිදුකළ හැකිය.

දණහිස් වේදනාවට පත්තුවක්
කොහොඹ කොළ, මෑ කොළ, සාරණ කොළ, සියඹලා කොළ සමව ගෙන අරළු කළං 06 ක් දමා තම්බා අඹරා ගෑම සුදුසුයි.

උපුටා ගැනීම | මව්බිම පුවත්පත

Add Comment