බියවෙන්න එපා! දැන් පිළිකාව වලක්වන නවීන ක්‍රම රාශියක් තිබෙනවා.

රෝගයකින් වැළකී සිටීම ප්‍රතිකාරයට වඩා සුදුසු බව අප නිතර අසා ඇති කරුණකි. අන් කවර රෝගයකටත් වඩා මෙම කියමන පිළිකාව සම්බන්ධයෙන් අදාළ වන්නේ පිළිකාව යන නම ඇසීමට පවා බොහෝ දෙනා බියවන නිසයි. පිළිකාවෙන් වැළකී සිටීමට නම් ඒ සදහා බලපාන අවදානම් සාධක හදුනාගෙන, ඒවායින් හැකි පමණ වැළකී සිටීම මෙන්ම පිළිකා වැළැක්වීමට ආධාර වන උපදෙස් අනුගමනය කිරීම යන ආකාර දෙකම ගැන අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත්ය. කල් ඇතිව හදුනාගත් පිළිකා රෝගයට නිසි ප්‍රතිකාර ලබාදීම ද ඒ තරමට වැදගත්ය.

පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන ක්‍රම කිහිපයක් භාවිත කෙරේ. ඒ ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාරය සහ පිළිකා නාශක ඖෂධ වර්ගයි. පිළිකා සදහා ප්‍රතිකාර කිරීම් බොහෝ විට සිදුවන්නේ මෙම සියලු ප්‍රතිකර්ම විධි ඒ ඒ රෝගියාට ගැලපෙන පරිදි සකස් කිරීමෙනි.

පිළිකා රෝග සුවකිරීම හා පාලනය කිරීම සදහා ලබාදෙන විශේෂිත ඖෂධ ප්‍රතිකාරය කිමොතෙරපි ලෙස හැදින්වේ. මෙම ඖෂධ පිළිකා සෛල මත ක්‍රියාත්මක වී ඒවා විනාශ කරයි.

සමහර පිළිකා ඖෂධ භාවිතයේදී වමනය, ඔක්කාරය, මහන්සි ගතිය, හිසකෙස් ගැලවී යෑම වැනි ආබාධ හටගැනීමට පුළුවන, එහෙත් නූතන පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනයේදී මෙම අතුරැ ආබාධ ඉතා කාර්යක්ෂම ලෙස අවමකර ඇති අතර එවැනි සංකූලතා හටගත්තද ඒවා බොහෝ විට තාවකාලික වේ. මෙවැනි අතුරැ ආබාධ මගහරවා ගැනීම සදහා ආධාර වන ඖෂධ ද රාශියක් ඇත.

නවීන ක්‍රම
Trageted Therapy යම් දව්‍යයක්, ඖෂධයක් ලෙස රෝගියාට ලබාදුන් පසු එම ද්‍රව්‍ය පිළිකා සෛල මගින් උරාගෙන එම සෛල තුළ දී සක්‍රිය වී පිළිකා සෛල විනාශ වී යෑම සිදුවේ. සාමාන්‍ය සෛලවලට වන හානිය අවම වන පරිදි හා පිළිකා සෛලවලට වන හානිය උපරිම වන පරිදි මෙම ඖෂධ ක්‍රියා කරයි.

ජාන ප්‍රතිකාර
පිළිකා සදහා හේතුවන වැරදි ජාන ඉවත්කිරීම මෙහිදී සිදුවේ.

ඇටමිදුලු බද්ධ කිරීම
ඇටමිදුලු බද්ධ කිරීම සරලව විස්තර කළහැක්කේ එය රසායනික චිකිත්සාවේ උච්චතම අවස්ථාවක් ලෙසයි. රසායනික විකිත්සාවේ දී පිළිකා සෛල විනාශ කිරීම සදහා රසායනික ඖෂධ එන්නත් කරනු ලබයි. ඇටමිදුලු බද්ධ කිරීමකදී නව සෛල සදහා ඇටමිදුලු ප්‍රතිකාර ලබාදීමට පෙර විශේෂ වෛද්‍යවරයා විසින් ඇටමිදුලු පද්දතියේ සියලුම සෛල මිය යන ආකාරයේ ප්‍රතිකාරයක් නිර්දේශ කළ හැකියි. මෙම සෛල වෙනත් පුද්ගලයකුගේ හෝ ප්‍රතිකාර කිරීමට පෙර රෝගියාගේම විය හැකියි.

එංගලන්තය වැනි රටවල ඇටමිදුලු බද්ධ කිරීම් සිදුකරන්නේ සායනික රුධිරවේදීන් /ලේ පිළිකාවන් පිළිබද විශේෂ වෛද්‍යවරැන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ලේ පිළිකා ප්‍රතිකාර සදහාම විශේෂතාවක් දක්වන ඒකක මගිනුයි. ඇටමිදුලු බද්ධ කිරීම් ලේ පිළිකාවන් සදහා මනාව පරික්ෂාකර හොදින් ඔප්පු කර තිබෙන ප්‍රතිකාර ක්‍රමයකි. සාපේක්ෂ වශයෙන් ඇටමිදුලු බද්ධ කිරීම ලංකාවට අලුත් ප්‍රතිකාර ක්‍රමයක් වුවත් සමහර ලේ පිළිකාවන් සදහා ප්‍රතිකාර ලබාදී සුවකළ හැක්කේද ඇටමිදුලු බද්ධ කිරීමකිනි.

රැධිරගත පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේදී විවිධ විශේෂ්‍ය අංශවලට අයත් වෛද්‍යවරැන් ඇතුලුව පුළුල් සෞඛ්‍ය සේවා කණ්ඩායමක් එකට හමුවී සාකච්ඡා කිරීමේද ක්‍රම වේදයක් මේ වනවිට මෙරටදී හදුන්වා දී තිබේ. Multi Diseeiplinary Team (MDT) ලෙස හැදන්වෙන මෙය එක්සත් රාජධානියේ රෝහල් වල පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේදී සම්මතයක් ලෙස භාවිත වන ක්‍රමයකි.

මෙම කණ්ඩායමට විශේෂ්‍ය වෛද්‍යවරැන්, ශල්‍ය වෛද්‍යවරැන්, හෙදියන්, ඖෂධවේදීන්, සමාජ සේවා නිලධාරීන් සහ කනිෂ්ඨ වෛද්‍යවරැන් ආදී පිරිසක් ඇතුළත්ය. මේ අය පොදුවේ පිළිගත් ප්‍රතිකාර සැලැස්මක් අනුව රෝගියාට ලබාදිය යුතු ප්‍රතිකාර හා සත්කාර ලබාදේ.

මේ වනවිට රුධිරගත පිළිකා වන ලියුකේමියා, ලිමිෆෝමා, මයලෝමා රෝග තත්ත්ව සදහා ප්‍රතිකාර ලබන රෝගීන් සදහා MDT රැස්වීම් ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙමගින් රෝගීන්ට ප්‍රතිලාභ රාශියක් හිමිවේ.

චාමිණී ගම්මන්පිල. උපුටාගැනීම | මව්බිම පුවත්පත

උපදෙස් – සායනික රුධිරවේද රුධිරගත පිලිකා විශේෂඥ වෛද්‍ය සමන් හේවාමාන.

Add Comment